අපි සිප ගන්නේ ඇයි?

ලෝකය පුරා විවිධ රටවල් මිනිස්සු බොහොම ඈත කාලයක ඉඳන්ම ආදරය ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් විදිහට සිප ගැනීම සිදු කර තියෙන බව අපි දන්නවා. මවක් තමන්ගේ කුඩා දරුවාගේ මුහුණ සිප ගන්නේත්, තරුණයෙක් සිය පෙම්වතියගේ දෙතොල් සිප ගන්නේත් මේ ආදරය විදහා දක්වන්නයි. ඒ වගේම සිප ගැනීමෙන් අපි ලබන තෘප්තිය විඳගන්නයි. නමුත් ඇත්තටම ඇයි අපි සිප ගන්නේ? මේ අරුම පුදුම සිරිත අපිට ලැබුණේ කොහෙන්ද? අද අපි කතා කරන්නේ ඒ ගැනයි.

අපි මුලින්ම බලමු සිප ගැනීම ගැන අපිට තියෙන ඓතිහාසික සාධක මොනවද කියලා. ඉන්දියාවේ ලියැවුණු සමහර වෛදික සාහිත්‍ය ග්‍රන්ථ තුළ සිප ගැනීම ගැන සඳහන් වෙනවා. දෙවන සියවසේදී ලියැවුණු වාත්ස්‍යානගේ කාම සූත්‍ර ග්‍රන්ථය තුළ සිප ගැනීම සම්බන්ධව වෙනම පරිච්ඡේදයක් පවා තිබෙනවා. ක්‍රි.පූ. 9 වන සියවසේ ලියැවුණු හෝමර්ගේ කෘති වලත් ක්‍රි.පූ. 5 වැනි සියවසේ ලියැවුණු හෙරඩෝටස්ගේ කෘති වලත් සිප ගැනීම ගැන සඳහන් වෙනවා. පැරණි පර්සියානුවන් තමාගේ සමාජ පංතියේ මිනිසුන්ව පිළිගැනීමේදී ආචාර ක්‍රමයක් ලෙස දෙතොල් සිප ගත් බවත්, ඊට වඩා පහළ සමාජ පංති වල මිනිසුන්ව පිළිගැනීමේදී කොපුල් සිප ගත් බවත් පැවසෙනවා. මෙබඳුම ක්‍රමවේදයක් මිසරයන් විසින් ග්‍රීකයන් කෙරෙහි දක්වා තිබෙනවා. ඒ කාලයේ ඊජිප්තු සංස්කෘතිය තුළ පූජනීය සතෙකු ලෙස සැළකුණු ගවයන්ගේ මස් ග්‍රීකයන් විසින් ආහාරයට ගැනීම නිසා මිසරයන් ග්‍රීකයන්ව දෙතොල් සිප පිළිගත්තේ නැහැ.

බයිබලයේත් අවස්ථා කිහිපයකදීම ශෘංගාරාත්මක සිප ගැනීම් ගැන සඳහන් වෙනවා. කෙසේ නමුත් බටහිර ලෝකයේ ආචාර විදියක් ලෙස සිප ගැනීම සහ සරාගී සිප ගැනීම ගැන වර්තමානයේ අපි දරන ආකල්පය මුල් වරට මතු වෙන්නේ රෝමානු ශිෂ්ඨාචාරය තුළයි. ඔවුන් කොපුල් සහ අත සිප ගැනීම ආචාර ක්‍රමයක් ලෙසත්, දෙතොල් සිප ගැනීම ප්‍රේමයට සහ ලිංගික ක්‍රියාවන්ට පමණක් සීමාවූ දෙයක් ලෙසත් තහවුරු කර ගන්නවා. එසේම ආසියානු සංස්කෘතීන් තුල සිප ගැනීමට විශේෂ තැනක් ලැබෙන්නේ නැහැ. ලංකාව වැනි රටවල සිප ගැනීම සංස්කෘතියෙන් පැමිණෙන්නක් නොවේ. එයට හේතුව සැනසීම රාගය ඉටු කර ගැනීම හරාහා සිදු නොවන බවත් ඉන් වන්නේ දුක වැඩිවීම බවත් වැනි සංකල්ප වල මුල් බැස ගැනීම නිසායි.

දැන් අපි හැරෙමු වඩාත් වැදගත් පැත්තට. ඇත්තටම අපි සිප ගන්නේ ඇයි? මේකට නිවැරදිම පිළිතුර කවුරුත් දන්නේ නැහැ. නමුත් ඒ පිළිතුර සොයා ගත හැකි හොඳම ක්‍රමය තමයි සිප ගැනීම පිළිබඳ පරිණාමික ඉතිහාසය සොයා බැලීම.

සිප ගැනීම සම්බන්ධව විද්වතුන්ට තියෙන ලොකුම ගැටළුව තමයි, මේ මේ පුරුද්ද අපි විසින් ඉගෙන ගන්නා දෙයක්ද, එහෙම නැත්නම් සහජාශයක් ලෙස උපතින්ම මානව වර්ගයාට ලැබෙන දෙයක්ද කියන එක. සමහරු කියන්නේ එය පරිණාමික සහජාශයක් බවයි. අපේ ආදි මුතුන් මිත්තන්ගේ කාලයේදී මව්වරුන් විසින් තමන්ගේ කුඩා දත් නැති බිළිඳුන්ට කෑම කැවීමේදී තමන් විසින් අර්ධ ලෙස සැපූ ආහාර බිළිඳුන්ගේ මුව තුළට ඇතුළු කරන්නට ඇති බව ඔවුන් පවසනවා. පසුව දරුවා වයසුන් වැඩුණු පසුවත්, මව දරුවාගේ මුවට සහ දෙකොපුල් සිය දෙතොල් වලින් ස්පර්ශ කිරීම ආදරය දැක්වීමේ චාරිත්‍රයක් ලෙස පවත්වාගන්නට ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.

මීට විරුද්ධ අදහසක් දරන විද්වතුන් පිරිසක් පවසන්නේ සිප ගැනීම අපේ සංස්කෘතීන් විසින් පුරුදු කරන ලද්දක් මිස අපේ ජාන වලින් එන දෙයක් නොවන බවයි. ඔවුන් එයට සාක්ෂි ලෙස දක්වන්නේ සියළුම මානව ජන කොට්ටාශ සිප නොගන්නා බවයි. විශේෂයෙන්ම සමකාසන්න සහ උප සහරානු කලාප වල ජීවත් වන දඩයක්කාර දිවි පෙවෙතක් ගෙවන ජන කොට්ටාශ බහුතරයක් අතර සිප ගැනීම දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ විද්වතුන් පවසන්නේ සිප ගැනීම ඇති වන්නේ යම් තරමකට දියුණු වූ, ලිංගික කර්ත්ව්‍යයන් සඳහා සෑහෙන තරම් නිදහසක් විවේකයක් තියෙන සමාජ කොට්ටාශ තුළ පමණක් වන බවයි. පෙර කියූ ජන කොට්ටාශ වල ලිංගික කාර්යය පවතින්නේ හුදෙක්ම දරුවන් සෑදීම සඳහා මිසක් තෘප්තිය සඳහා නොවන බවයි ඔවුන් පවසන්නේ.

නමුත් සහජාශය වෙනුවෙන් පෙනී සිටින විද්වතුන් මේ මතය ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් ඒ සඳහා ගෙන එන සාක්ෂිය තමයි මානවයා හැරුණහම සමහර වෙනත් සත්ව කොට්ටාශ අතරත් සිප ගැනීම හෝ ඒ ආශ්‍රිත චර්යා රටා දකින්න ලැබෙන බවයි. බොහෝ සතුන් ආදරය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් ලෙස නාසයෙන් නාසය ස්පර්ශ කිරීම සිදු කළත්, බොනොබෝ වඳුරන් වැනි සමහර සත්ව විශේෂ මිනිසුන් සේම මේ සඳහා දෙතොල් යොදා ගන්නවා. සටනකින් පසු සමාදාන වීමට, එකිනෙකාව සනසාලීමට සහ සමාජීය බැඳීම් ඉහළ නංවා ගැනීමට ආදී හේතු රාශියකදී බොනොබෝ වඳුරන් මුවට මුව තබා සිප ගැනීම් සිදු කරනවා.

සිප ගැනීම ගැන ඇති තවත් මතයක් තමයි එය සිදු කරන්නේ ප්‍රජනනය සඳහා වඩාත් හොඳින් ගැළපෙන සහකරුවෙක් හෝ සහකාරියක් සොයා ගැනීම සඳහා වන බවයි. සිප ගැනීමේදී අපි එකිනෙකාට සමීප වීම නිසා එකිනෙකාගෙන් විහිදෙන ෆෙරමෝන (pheromones) අපිට ඉව කිරීමට හැකියාව ඇති බව පැවසෙනවා. ෆෙරමෝන කියන්නේ සතුන්ගේ දේහ වලින් වාතයට මුදා හැරෙන ලිංගික ආකර්ශණය සඳහා හේතු වන රසායනික ද්‍රව්‍ය විශේෂයක්. බහුතරයක් සත්ව විශේෂ වල සහකරුවෙක් සොයා ගැනීමේදී ෆෙරමෝන විශාල වශයෙන් භාවිතා වෙනවා. කොහොම වුණත් මිනිසුන් තුළ ෆෙරමෝන වල ආකර්ශණයක් තියෙනවද කියන එක තවම පැහැදිලි නැහැ. අනෙක් සතුන්ට සාපේක්ෂව මිනිසුන්ගේ ආඝ්‍රහන හැකියාව ඉතා දුර්වල නිසා අපේ ලිංගික ආකර්ශණය සඳහා ෆෙරමෝන හෝ ආඝ්‍රහන ඉන්ද්‍රිය භාවිතා නොවන බව සමහරු ප්‍රකාශ කරනවා. මීට විරුද්ධ වන සමහර විද්වතුන් අසන්නේ, එහෙමනම් අනෙකුත් වෙළඳ භාණ්ඩ වලට සාපේක්ෂව, සුවඳ විලවුන් සම්බන්ධ වෙළඳ දැන්වීම මේ තරම් විශාල වශයෙන් ලිංගිකත්වය මත පදනම් වන ලෙස නිර්මාණය කරලා තියෙන්නේ ඇයි කියන එකයි. (රූපවාහිනියේ යන සුවඳ විලවුන් වෙළඳ දැන්වීම් ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ)

ජීවීන් දෙදෙනෙකු අතර ඇති වන ලිංගික ක්‍රියාවකින් වඩාත් පරිසරයට උචිත සහ ශක්තිමත් දරුවෙකු නිර්මාණය වෙනවාද යන්න පිළිබඳව පුරෝකථනය කරන්න ෆෙරමෝන දායක වන බව පැවසෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත්, ගැහැණු සතුන්ට හැකියාව තිබෙනවා තමන්ගේ දේහයේ තියෙන ප්‍රතිශක්තීකරණ ප්‍රෝටීන වලට වඩා වෙනස් ප්‍රතිශක්තීකරණ ප්‍රෝටීන සහිත පිරිමි සතෙකුගේ සුවඳ අවිඥානිකව හඳුනා ගන්න. ඒ නිසා ඔවුන් ඒ සුවඳට ආකර්ශණය වෙනවා. මිනිසුන්ගේ මුව සිප ගැනීම තුළින් සහ එහිදී එකිනෙකාගේ ඛේටය මිශ්‍ර වීම තුළින් මීට සමාන කාර්යයක් සිදු වනු ඇති බව සමහර විද්වතුන් විශ්වාස කරනවා.

කොහොම වුණත් බොහෝ දෙනෙක් සිප ගැනීම ඇත්තේ ලිංගික තෘප්තිය උදෙසා යන තැනින් නවතිනවා. එක අතකට එහි වරදක් නැහැ. ඇත්තටම සිප ගැනීමේ යාන්ත්‍රණය සිදු වන්නේ කොහොමද? දෙදෙනෙක් අතර වන සිප ගැනීමකදී මූලිකවම එකිනෙකාගේ දෙතොල් එකිනෙක ස්පර්ශ වෙනවා. ඉන් පසුව වඩාත් ශෘංගාරාත්මක අවස්ථා වලදී අනෙකාගේ දෙතොල්, දිව සහ මුවේ අභ්‍යන්තරය (කොපුල් වල ඇතුල් පැත්ත) තමන්ගේ දිවෙන් පිරිමැදීමක් සිදු වෙනවා. ඒ වගේම දෙකොපුල්, කන්පෙති සහ ගෙල කියන ස්ථානත් මේ ක්‍රියාවට බඳුන් වෙනවා. මේ සඳහා හේතු වන්නේ දෙතොල් සහ දිව සංවේදී ස්නායු අග්‍රයන්ගෙන් පිරී පැවතීමයි. ඒ නිසා ඒවා නැවත නැවත එකිනෙක ස්පර්ශ වන විට අපේ මොළයේ ඇති තෘප්තිය ඇති කරවන ප්‍රදේශ වැඩිපුර උත්තේජනය වෙනවා. එහිදී එම ප්‍රදේශ වලින් සෙරටොනීන් වැනි තෘප්තිය සඳහා හේතු වන රසායනික ද්‍රව්‍යද අධිකව මුදා හැරෙනවා. සිප ගැනීම තුළ අපි අත් විඳින ප්‍රීතිය ඇති වන්නේ අන්න ඒ විදිහටයි.

~උපුටා ගැනීම අන්තර්ජාලයෙන්~

ඔබේ අදහස මෙතන ලියන්න..